සමාජ මාධ්‍යය බලපෑම

සයිබර් අවකාශයට විප්ලවකාරීත්වය ගෙනඑන
සමාජ මාධ්‍යයේ බලපෑම


තොරතුරු යුගයේ තෘතියික අවධියක පසුවන මිනිසා නිරන්තරයෙන් තොරතුරු දැනගැනීමේ පිපාසයෙන් සන්නිවේදනයේ යෙදේ‍‍. මිනිසාගේ ආරම්භයත් සම‍‍ග පැවත එන සන්නිවේදන අවශ්‍යතාවය මානවයාගේ පරිණාමයත් සමග යාවත්කාලීන වී‍‍, පරිණත දියුණු විද්‍යාත්මක පසුබිමක් සහිතව මොහොතින් මොහොත වෙනස් වන ජාත්‍යන්තර විෂය ක්ෂේත්‍රයක් බවට පත් වී ඇත. ලොව සිදු වූ තාක්ෂණික විපර්යාසයන් සමගින් සියවස් ගණනාවක සිට මිනිසා විසින් දැරූ සන්නිවේදන උත්සාහයක ප්‍රතිඵලයක් වශයෙන් නවමාධ්‍ය බිහිවීම එතෙක් පැවති සන්නිවේදන ගමනේ සුවිශේෂී සන්ධිස්ථානයක් විය. Robert Logon ගේ Understanding New Media කෘතියට අනුව නවමාධ්‍යය යනු අන්තර් ක්‍රියාකාරීත්වය, ද්විපාර්ශවීය  සන්නිවේදනය හා ගණනය කිරීම් වලින් සමන්විත ඩිජිටල් මාධ්‍යය වේ. තවදුරටත් නවමාධ්‍යය යන්න ජංගම දුරකතන, පරිගණක, සයිබර් අවකාශය, පරිගණක ක්‍රීඩා, පරිගණක පණගැන්වීම් (Computer Animation ) හා සමාජ මාධ්‍ය වලින් සැදුම්ලත් සමූහය ලෙස ද අරුත් ගැන්විය හැකිය. මෙසේ පැහැදිලි කරන කළ නවමාධ්‍යය යන්න සයිබර් අවකාශය හෙවත් අන්තර්ජාලය ඔස්සේ සිදුවන Many to many සන්නිවේදන මාදිලියක් වශයෙන් ද හදුනා ගත හැකිය. නවමාධ්‍යය පිළිබ‍‍ද සංවාදයක යෙදෙන කළ පළමුකොටම පුද්ගලයෙකුගේ සිහියට නැගෙන්නේ සමාජ මාධ්‍යයන්ය. ඊට හේතුව වනුයේ නවමාධ්‍යය හා සමාජ මාධ්‍යය යන ප්‍රවර්ගයන් දෙකම එකක් ලෙස සමාජය දරන දුර්මතයයි. නමුත් එය මෙසේ නිවැරදි වීම වැදගත් වේ. එනම් නවමාධ්‍යය යටතේ ගැනෙන තවත් එක් නවමාධ්‍යය වර්ගයක් ( New Media Type ) ලෙස සමාජ මාධ්‍යය හදුනා ගත හැකි බවයි. සමාජය කුමන අයුරකින් නවමාධ්‍යය හා සමාජ මාධ්‍යය හදුනා ගෙන සිටිය ද අද වන විට මෙකී ප්‍රවර්ගයන් ද්විත්වයෙන්ම මිනිසාට වෙන්ව ජීවත් විය නොහැකි තත්වයට පත් ව ඇත‍. ආර්ථික, සමාජ හා දේශපාලන ආදී ක්ෂේත්‍රවල සුවිශාල වෙනස්වීම් සිදුවෙමින් තිබූ යුගයක ගොඩනැගුණු නවමාධ්‍යය ප්‍රධාන වශයෙන් ගෝලීයකරණය, ගෝලීය ධනවාදය හා සංඛ්‍යාංක තාක්ෂණයේ බිහිවීම යනාදියත් අභිසාරිතා සංකල්පයේ සමාජ ගත වීමත් සමගින් බිහි වූ අතර එය සංඛ්‍යාංකීකරණය, ජාලගත බව, අන්තර් ක්‍රියාකාරීත්වය, උපරිලේඛනත්වය, ස්වයංක්‍රීයත්වය හා දත්ත සංගෘහිත බව යනාදී ලක්ෂණ වලින් සමන්විත වූවක් වේ. මෙම ලක්ෂණ උරුම කර ගත් නවමාධ්‍යය ලොව ජනගහනයෙන් වැඩි පිරිසක් වැළදගනිමින් සමාජයට ප්‍රවිශ්ට වීම මානව සමාජය නව මාවතකට යොමු කළ ඓතිහාසික අවස්ථාවක් විය.

පෙර සදහන් කළ ආකාරයට සමාජ ජාලා හෙවත් සමාජ මාධ්‍යය යනු නවමාධ්‍යය යටතේ පැනනැගුණු අංගයකි. ලෝක ජනගහනයෙන් බහුතරයක් සමාජ මාධ්‍යය භාවිතයට යොමුව සිටින අතර ඔවුන් එය සන්නිවේදනයේ මූලික පරමාර්ථ වන ඥාාණනය, විනෝදාශ්වාදය, තොරතුරු සම්පාදනය හා සමාජානුයෝජනය යනාදිය උදෙසා නිතැතින්ම භාවිතා කරයි. සමාජ මාධ්‍යය පිළිබඳ අවධානය යොමු කිරීමේදී ඊට Facebook, twitter, Linkedin , Instragram , Skype , Viber, Whatsapp ,Google + , We chat හා Printerest යනාදී නොයෙකුත් නම් හරහා ගෝලීය වශයෙන් පුද්ගලයන් අසීමාන්තිකව පරිශීලනය කරන සමාජ මාධ්‍යය ප්‍රවර්ගයන් ලෙස හදුන්වා දිය හැකිය. එසේම පරිශිලකයන් ඩෙක්ස්ටොප් පරිගණක, ලැප්ටොප් පරිගණක, ස්මාර්ට් ෆෝන් හා වෙබ් අඩවි තාක්ෂණය ඔස්සේ සමාජ මාධ්‍යය සමඟ සම්බන්ධ වන අතර ඉන් අනතුරුව ඔවුන් වෙනම ලෝකයක අතරමංවූවන් සේ කටයුතු කරන්නේ නොදැනුවත්වමය. මාර්ගගත සන්නිවේදන උපක්‍රමයක් වන සමාජ මාධ්‍යය තුළින් ප්‍රධාන ලෙසම අන්තර්ක්‍රියාකාරීත්වය, ඒකාබද්ධතාවය, අන්තර්ගතයන් හුවමාරු කර ගැනීම හා විශේෂකොටම පෞද්ගලික තොරතුරු හුවමාරු කර ගැනීමට ඇති අවකාශය පරිශිලකයන්ට හිමිවන සුවිශේෂී අවස්ථාවන්ය. එක හා සමාන පෞද්ගලික හෝ වෘත්තීය අවශ්‍යතා, ක්‍රියාකාරකම්, ජීවිත සම්බන්ධතා වැනි දේ අනෙකා සමඟ හුවමාරු කර ගැනීමට භාවිතා කරන වේදිකාවක් ලෙස සරල අර්ථයෙන් සමාජ මාධ්‍යය හැදින්විය හැකි සේම සැබෑ ලෝකයේ ක්‍රියාකාරකම් හා සිදුවීම් පිළිබඳ පොදු සංවාදයන් ගොඩනංවන තෝතැන්නක් ද වන මෙහි ප්‍රධාන පාරිභෝගිකයා වශයෙන් තරුණ පරපුර ඊට ගොනුකර ගැනීමට සමත් වී ඇත.

මුල්කාලීනව ශබ්ද හා සංඥා උපයෝගී කර ගනිමින් සන්නිවේදනයේ යෙදුණු මානවයා ක්‍රමයෙන් ලිඛිත සන්නිවේදන අවධිය ද පසු කර සාම්ප්‍රදායික සන්නිවේදන ක්‍රියාවලියේ විද්‍යුත් ප්‍රවිශ්ඨයන් වූ ගුවන්විදුලිය හා රූපවාහිනිය ප්‍රවර්තකයන් ලෙස කටයුතු කළ සහස්‍රයක සංවර්ධනය වූ සන්නිවේදන විප්ලවයක් ලෙස සමාජ මාධ්‍යය හදුනා ගත හැකිය. අද වනවිට සමාජීය, දේශපාලනික, ආර්ථික හා සංස්කෘතික වශයෙන් පෙරළිකාර මාධ්‍යය විධික්‍රමයක් වන මෙය 1990 වර්ෂයේ අන්තර්ජාලය සමාජගත වීමෙන් පසුව ජනිත වූවක් ලෙස ද පෙන්වා දිය හැකිය. කුඩා විද්‍යුත් ඉලෙක්ට්‍රොනික උපකරණයක් භාවිතයෙන් ලොවක් ආමන්ත්‍රණය කිරීමේ විශ්වීය ගුණාංගය හේතුවෙන් සීග්‍රයෙන් ප්‍රචලිත හා ජනප්‍රිය වූ සමාජ මාධ්‍යය ගෝලීයකරණයට ලක්වූ සමාජ වපසරියක එහි මූලාරම්භක කාර්යය ද මැනවින් ඉටුකරන ලද්දකි. ඉලෙක්ට්‍රොනික් තාක්ෂණය මූලද්‍රව්‍ය කොට ගනිමින් බොහෝමයක් සමාජ සත්වයන් විද්‍යුත් පවුලක සාමාජිකයන් බවට පත් කරවන නූතන නවමාධ්‍යය සම්ප්‍රධායේ පැතිකඩක් වන සමාජ මාධ්‍යය කාලයේ හා අවකාශයේ පරිමාව මිනිසාට සුදුසු පරිදී කළමනාකරණය කර ගැනීමට පසුබිම නිර්මාණය කරවීම ඒ වටා බොහෝදෙනෙකු ඒකරාශි කරගැනීමට සමත් වූ හේතුවක් වී ඇත. අන්තර්ජාලය ඇතුළු කොටගත් නවමාධ්‍යය හා සමාජ මාධ්‍යයේ බිහිවීම ගෝලීය වශයෙන් පුද්ගලයා තවදුරටත් එක් ජාතික රාජ්‍යයකට අයිති නොවේ යන හැඟීම සමාජ ගත වීමට හේතුසාධක වූ අතර ඉන් පසුව ඇරඹි අභිසාරිතා සමාජය සියලු භෞතික හා අභෞතික සාධකයන් අතික්‍රමණය කරමින් යන්නටද සමත් වීය. එසේ මුල්බැසගත් සමාජ මාධ්‍යයන් වර්තමානයේ අධිතාක්ෂණික මෙවලම් භාවිතයෙන් ක්‍රියාත්මක වීම නිසා ග්‍රාහකයාගේ තොරතුරු උපයෝගීතාවය වඩාත් වේගයෙන් හා ඔහුගේ අවශ්‍යතාවයට අනුකූල ලෙස සැපයීමේ සුවිශේෂී හැකියාව මත වර්ධනය වූවක් වී ඇත.

සාම්ප්‍රදායික ඒකපාර්ශවීය මාධ්‍ය රටාව ක්‍රමයෙන් ග්‍රාහක සමාජයෙන් බැහැර කරවමින් ඊට අනුකූල අයුරින් ස්ථානගත වූ සමාජ මාධ්‍යය භාවිතය පිළිබඳ අවධානය යොමු කිරීම කාලීන වශයෙන් ඉතා අගනේය. ඉතා අඩු වෙහෙසකින් ක්ෂණික උත්තේජනයක් එසේ නැත්නම් තෘප්තියක් ලබා ගැනීමේ හැකියාව හේතුකොටගෙන සමාජ මාධ්‍යය භාවිතයට බොහොමයක් දෙනා යොමුවන අතර ඊට කදිම නිදර්ශනයක් ලෙස පසුගිය දශක කිහිපයේ සමාජ මාධ්‍ය ගිණුම් සංඛ්‍යාව හෝ පරිශිලකයන් සංඛ්‍යාවේ වර්ධනය පිළිබඳ දත්ත පෙන්වා දීමට පුළුවන. මෙසේ බලන කල සමාජ මාධ්‍යය තුළට පරිශිලකයන් මෙපමණ ප්‍රමාණයක් ආකර්ශනය වෙමින් එහි භාවිතය ඉහළයාමට නම් ඉන් අත්වන ප්‍රයෝජන ද සහිත බව හදුනා ගත හැකිය. ප්‍රමුඛ ලෙසම ඊට එහි අභිසාරිතාවය පෙන්වා දිය හැකිය.මන්ද මාර්ගගත සන්නිවේදනයේ හිනිපෙත්තටම ගොස් සිටින වර්තමාන සමාජයේ සියළුම කාර්යයන් මාර්ගගත සන්නිවේදනය සමඟ ඒකාබද්ධව පවතින නිසා ඊට අභිසාරිතා සංකල්පයෙහි අවශ්‍යතාවයත්, එය යුහුසුළුව සමාජ මාධ්‍යය තුළින් සිදුකරගත හැකි නිසාත් ඒ වටා රොක් වන පිරිස බහුල වේ.තවද ගෝලීයකරණය වූ සමාජයක යාවත්කාලීන පුරවැසියකු වශයෙන් වන සමාජ තත්ත්වය ආරක්ෂා කරගනු වස් පුද්ගලයන් සමාජ මාධ්‍යය පරිශිලකයන් බවට පත්වන අතරම පුරවැසි මාධ්‍යකරණයට මනා තෝතැන්නක් වන නිසා ද මෙහි පරිශිලකයන් බවට පත්වීමට පුද්ගලයන් අවධානය යොමු කරවයි. භාවිතා කරන පරිශිලකයන්ගේ ප්‍රමාණය සංඛ්‍යාත්මකව ඉහළ යන කළ සමාජ මාධ්‍යය තුළින් සමාජය කෙරෙහි වන බලපෑම ද තීව්‍ර තත්ත්වයට පත්ව තිබීම අද පවතින ප්‍රවණතාවකි. එනිසාම සමාජ මාධ්‍යය යන්න සමාජ පිළිලයක් තත්ත්වයට පත්වීමට ද වැඩි කාලවකවානුවක් ගත නොවුණු බවද සදහන් කළ යුතුම වේ.

සමාජ මාධ්‍යය වනාහි සහස්‍රයේ මිනිසාගේ හිස පැළදි කටු ඔටුන්නක් සේම දැලි පිහියෙන් කිරි කෑමේ ක්‍රියාව හා සමාන වූවකි. එනම් එහි යහපත් මෙන්ම අයහපත් පැතිකඩයන් ඇත. එබැවින් සමාජ මාධ්‍යය බලපෑම පිළිබඳ අවධානය යොමු කරන කල එහි යහපත් හා අයහපත් යන දෙයාකාරයෙන්ම බලපෑම පිළිබඳ විමසා බැලීම අවශ්‍ය වේ. සමාජ මාධ්‍යය භාවිතය තුළින් වන යහපත් බලපෑම පිළිබඳ පළමුව සාකච්ඡාවට ගන්නා අතර ඉන් කිහිපයක් මෙසේය.

ව්‍යපාරික ක්ෂේත්‍රයේ ප්‍රයෝජනවත් මෙවලමක් ලෙස භාවිතා කිරීමට ඇති උපයෝගීතාවය
පුද්ගල අන්තර්ක්‍රියාකාරීත්වය හා අන්තර් සබඳතා පෝෂණය
ක්ෂණික හා සක්‍රීය සන්නිවේදනයක් සිදුවීම
අඩු පිරිවැයකින් තොරතුරු හුවමාරුව
අධ්‍යාපන මාධ්‍යයක් වීම

මහා පරිමාණ ව්‍යාපාරයක සිට ස්වයං රැකියාවක් දක්වා වූ ඕනෑම ව්‍යාපාරයකට අද වන විට නැතුවම බැරි සන්නිවේදන මෙවලමක් බවට සමාජ මාධ්‍යය පත්ව ඇත. සමාජ මාධ්‍යය යොදා ගනිමින් ව්‍යාපාරික ක්ෂේත්‍රය තුළ ඇති කළ මෙම විපර්යාසය එයින් වන යහපත් බලපෑම්වලින් එකක් වන අතර එය වර්තමාන ඩිජිටල් යුගයට ද උචිත පරිද්දෙන් ගොඩනැංවී ඇත. තම ව්‍යාපාරය ප්‍රචාරණය කරගන්නා අවස්ථාවේ සිට භාණ්ඩ හා සේවා පාරිභෝගිකයන්ට අලෙවිකිරීම යන අවස්ථාව දක්වාම සමාජ මාධ්‍යය තුළින් මනා තෝතැන්නක් ඒ සදහා නිර්මාණය කර දී ඇත. කාලය හා අවකාශය කළමනාකරණය කරගැනීමේ ගුණාංගය මැනවින් ප්‍රයෝජනයට ගනිමින් ව්‍යාපාරික ක්ෂේත්‍රය සදහා සමාජ මාධ්‍යය භාවිතා කිරීම ඉන් ඇති යහපත් බලපෑම නිරූපනය කරවයි. පුද්ගල සම්බන්ධතා වර්ධනය කිරීමටත්, ඔවුන් සමඟ අන්තර්ක්‍රියාකාරීව කටයුතු කිරීමටත් සමාජ මාධ්‍යය තුළින් පහසුකම් හිමිවීම තවදුරටත් දුරස්ව සිටි මානවයන් එකම විද්‍යුත් පවුලක සාමාජිකයන් බවට පත් කරවීමටසමත් වීය. ඒ අනුව අතත්‍ය අවකාශයක ගොඩනගා ගන්නා මානව සබදතා තවදුරටත් සමීප කරවීමට සමාජ මාධ්‍යය තුළින් ලබාදෙන දායකත්වය සුළුපටු නොවේ. එතෙක් කාලයක් පැවති ජනමාධ්‍ය අධිකාරීත්වයට අභියෝගයක් කරවමින් යහපත් අන්දමින් සමාජ මාධ්‍යය  ක්‍රියා කිරීම සන්නිවේදනමය වශයෙන් ඉතාමත් වැදගත් වූවකි. එසේම තොරතුරු ලෝකයක ජීවත්වන මිනිසාට අඩු පිරිවැයකින් කාර්යක්ෂම ලෙස තොරතුරු සම්පාදනය කිරීමද, සමාජ මාධ්‍යය ජනමාධ්‍යයේ එතෙක් තිබූ සන්නිවේදනමය අඩුලුහුඬුකම් ඌනපූර්ණය කරමින් සන්නිවේදන ක්‍රියාවලියේ සුවිශේෂී පුනරුක්තියක් ඇතිකලේය. මෙසේ අධ්‍යයන කරන කල සමාජ මාධ්‍යයේ ඇති යහපත් බලපෑම මනාව විද්‍යාමාන වන අතරම ඉන් සැලසෙන සාමාජීය ප්‍රගමනය ද සුළුවෙන් තැකිය නොහැකිය.

සාම්ප්‍රදායික පන්ති කාමරයේ රාමුවට සීමා නොවෙමින් සයිබර් අවකාශය තුළ දැනුම ගවේෂණය කරන වර්තමාන සමාජයට හට අධ්‍යාපන කාර්යය උදෙසා සමාජ මාධ්‍යයේ දායකත්වය ප්‍රබල වේ. ඒ අනුව සමාජ මාධ්‍යය සේවා පර්යේෂණ ජාල නොහොත් ඉගෙනුම් ජාල සදහා කදිම නිදර්ශනයකි. වයස් භේදයකින් තොරව අධ්‍යාපනය ලබන අවධියක එකී අවශ්‍යතාව උදෙසා මැනවින් භාවිතා කළ හැකි මූලාශ්‍රයක් වශයෙන් සමාජ මාධ්‍යය පෙන්වා දීම යෝග්‍ය වන අතරම ඉන් දැනුමින් සපිරි අනාගත පරපුරක් නිර්මාණය කිරීමට ද අතහිත ලබාදෙයි. තවද , වෘත්තීයමය වශයෙන් මාධ්‍යකරණ දැනුමක් සමාජ මාධ්‍යය පරිශිලනයට අවශ්‍ය නොවන නිසාවෙන් මෙහිදී පුරවැසි මාධ්‍යකරණයටද මෙහිදී අවකාශය හිමිවීම වැදගත් අවස්ථාවකි. ඒ හේතුකොටගෙන රාජ්‍යයක ආර්ථික, දේශපාලනික වශයෙන් වන සාමාජීය පැතිකඩයන් විවෘතව විවරණය කිරීමේ හා විවේචනය කිරීමේ අවකාශය ද සමාජ මාධ්‍යය තුළින් නිතැතින්ම හිමිවේ. සෑම පුද්ගලයෙකුටම සෑම ක්‍රියාවකටම හඬ අවධි කරන තැනැත්තකු වීමට ඉන් හැකි වන නිසා පහසුවෙන් මතවාදී කාර්යයේ නියැලීමට ද වර්තමාන පුද්ගලයන්ට හැකි වී ඇත. මෙසේ බලන කළ සමාජ මාධ්‍යය තුළින් සමාජය වෙත ගෙනදෙන යහපත් බලපෑම සමාජය තුළ නව මානයක් හා ප්‍රගතියක් ඇතිකරවීමට සමත් වී ඇති බව හදුනා ගත හැකිය.

ඕනෑම කාරණයක් සම්බන්ධව එහි යහපත් මෙන්ම අයහපත් පැතිකඩක් ද ඇත. සමාජ මාධ්‍යයේ බලපෑම සලකා බලන කළ එහිදී ද මෙම ධර්මතාවය එලෙසමය. ඒ නිසාම ඒ පිළිබඳව එල්ල වී ඇති චෝදනා හා ගැටලු පිළිබඳ කරුණු විමර්ශනය වැදගත් වේ.ඒ අනුව සුලබ ලෙස හදුනා ගත හැකි අයහපත් බලපෑම් කිහිපයක් මෙසේ වේ.

පුද්ගලයන්ට මානසික වශයෙන් සිදු කරන බලපෑම
දුර්මත සමාජ ගත වීමට ඇති වැඩි අවකාශය
ප්‍රචණ්ඩ ක්‍රියා සදහා පෙළඹවීම
සංස්කෘතික වශයෙන් සිදු කරන බලපෑම
පෞද්ගලිකත්වයට බාධා පමුණුවිම
පුද්ගලයන්ගේ ආධ්‍යාත්මික සංවර්ධනයට බලපෑම් කිරීම

වර්තමාන සමාජ මාධ්‍යය භාවිතාකරන්නන්ගේ 5% ත් 10% ත් අතර ප්‍රමාණයකට තමන් Online සිටින කාලසීමාව පාලනය කරගත නොහැකි තරමටම ඒ සමඟ බද්ධ වී ඇති අතර ඉන් පුද්ගලයාගේ මනසට සිදුකෙරෙන බලපෑම ද සුළුපටු නොවන බව සමීක්ෂණ තුළින් ද අනාවරණය වී ඇත. එනම් සමාජ මාධ්‍යය යන්න ඒ තරමටම පුද්ගල ජීවිතය සමඟ තදින් සංයෝජනය වී ඇති බව මෙන්ම පුද්ගලයන්ට ඉන් මිදී කටයුතු කිරීමට ද නොහැකි අවකාශයකට පත්ව ඇති බවද හදුන්වා දිය හැකිය. අද්‍යතන පර්යේෂණ විද්‍යාඥයන් සදහන් කරන ආකාරයට සමාජ මාධ්‍යය හා මත්ද්‍රව්‍ය අතර පරස්පරතාවයක් නොමැත. මන්ද මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූවකුගේ මොළයේ ඇති හැඟීම් , අවධානය හා තීරණ ගැනීම යනාදියට සම්බන්ධ වන ප්‍රදේශය දුර්වල වන ආකාරයටම පැහැදිලි ලෙසම සමාජ මාධ්‍යය පරිශිලකයන්ගේද දුර්වල වී ඇති බව එකී පර්යේෂණ තුළින් අනාවරණය වූවකි. ජීව විද්‍යාත්මක හා මනෝ විද්‍යාත්මක වශයෙන් ගත් කළ ඉතාමත් බලපෑම්කාරී සන්නිවේදන භාවිතයක් වන සමාජ මාධ්‍යය නිසා සමාජය තුළ ඇතිවෙමින් පවතින වෙනස්වීම ප්‍රායෝගිකව සෑම පුද්ගලයෙකුටම අත්දැකිය හැකිය . සමාජ මාධ්‍යය තම ප්‍රධාන පාරිභෝගිකයා වශයෙන් තරුණ පරපුර ඉලක්ක කිරීම නිසා එයින් වන අයහපත් සමාජමය පරිහානිය ද සුවිශාල වේ. සාංකාව, විශාදය, තනිකම යනාදී ගැඹුරු මානසික හා සමාජීය කම්පන පරිශිලකයන් තුළ ඇතිකරවීමට සමාජ මාධ්‍යය සමත් වන නිසා එකී තත්වයන් හේතුකොටගෙන සියදිවි නසාගැනීම් වැනි ඛේදනීය තීරණ ගැනීමෙහිලා ද පරිශිලකයන් නොබියව පොළඹවන ප්‍රවණතාවයක් වර්තමානය වන විට උදාවී ඇත. රටක තරුණ ප්‍රජාව ශෝචනීය අයුරින් ක්‍රියාත්මකවීම එම රටේ සියළුම අංශයන්හී පසුබෑමක් ඇතිකරවීමට සමත් වන බැවින් සමාජ මාධ්‍යයේ මෙකී අයහපත් පැතිකඩ බොහෝසෙයින් බලපෑම් සහගත බව හදුනා ගත හැකිය . බොහෝ පරිශිලකයන් සමාජ මාධ්‍යය භාවිතය නිසාවෙන් තම පෞද්ගලිකත්වයට ඍජුවම බලපෑමක් වූ විට මානසික වශයෙන් අවපීඩනයකට පත්වේ. සමාජ මාධ්‍යය තුළ සුවිශේෂී ලක්ෂණයක් වන පෞද්ගලිකත්වය පිළිබඳ හෙළිකිරීමට ඇති අවකාශය පමණ ඉක්මවා කිරීමට යාමෙන් ඇතිවන ප්‍රතිපලයක් ලෙස තමාගේ පෞද්ගලිකත්වය අනවශ්‍ය අයුරින් සමාජය ඉදිරියේ නිරාවරණය වීම පෙන්වා දිය හැකිය. තුන්වන ලෝකයේ රටක් වන ශ්‍රී ලංකාව තුළ පෞද්ගලිකත්වය ,ආත්ම ගෞරවය යනාදී අගනාකම් සදහා වැඩි අවධානයක් යොමු කරන අතර එය ආරක්ෂා කරගැනීමට නොහැකි වූ පුද්ගල මනසේ ආතතියක් ඇතිවීම සාමාන්‍ය කාරණයකි. තමාගේ පෞද්ගලිකත්වය මෙන්ම අනෙකාගේ පෞද්ගලිකත්වය ද ආරක්ෂා කිරීමට සමත් ආචාරශීලී හා මාධ්‍ය සාක්ෂරතාවක් සහිත පුද්ගලයෙකු ලෙස සමාජ මාධ්‍යය භාවිතයේදී කටයුතු කිරීමේ අවශ්‍යතාවය ඒ අනුව නිතැතින්ම වර්තමාන සමාජය සදහා අවශ්‍යවේ.

සමාජ මාධ්‍යය තුළ පුරවැසි මාධ්‍යකරණයට ඇති අවස්ථාව උපයෝගී කොට ගනිමින් සමාජයේ දුර්මත පැතිරවීමට සමාජ මාධ්‍යය දරන උත්සාහය ද මෙහිදී ඇති කරන අයහපත් බලපෑම් අතරට ගැනේ. දුර්මත පැතිරවීමෙහිලා මෙවලමක් වශයෙන් අදවන විට සමාජ මාධ්‍යය පත්ව සිටින අතර ඊට මෑතකාලීන නිදර්ශන ද සුලබ වේ. රබර් හාල් පිළිබඳ සාවද්‍ය තොරතුරු , අන්තර් සංස්කෘතික ගැටුම් වලට අදාළ සාවද්‍ය තොරතුරු ඉන් කිහිපයකි. වගකීමකින් තොරව මුදාහරින තොරතුරු ක්ෂණිකව හුවමාරු වීම තුළින් සමාජය තුළ කතිකාවතක් නිර්මාණය කරවීමට සමාජ මාධ්‍යය සමත් වන සේම ඉන් පසුව ගොඩනංවන ප්‍රචණ්ඩකාරී තත්වයන් ද සාවද්‍ය තොරතුරු මෙන්ම ඉතා බිහිසුණුය.
රටක සංස්කෘතිය යනු එහි අනන්‍යතාවය වේ. නමුත් සමාජ මාධ්‍යයේ ආගමනයත් සමග එතෙක් පැවති මහා සංස්කෘතියේ පුරුක් වන මානවයා එම සංස්කෘතිය අතික්‍රමණය කරමින් ජනප්‍රිය සංස්කෘතියේ සාමාජිකයන් බවට පත්කරවයි. බහුජාතික සමාගම් පෙරදැරි කරගනිමින් ජනප්‍රිය සංස්කෘතිකාංග සමාජය වෙත මුදාහැරීමෙහිලා සමාජ මාධ්‍යය නිතැතින්ම කටයුතු කරන අතර ඉන් මහා සංස්කෘතිය කෙරෙහි සිදු කරන බලපෑම ද සුවිශාල වේ . ලෝකයේ පවතින අනන්‍යතා දිනෙන් දින මානවයා තුළින් ඈතට ගෙනයාම සදහා සමාජ මාධ්‍යය තුළින් සිදු කරන බලපෑම ඉතා ශෝචනීය වන්නේ එනිසාය. ඩිජිටල් ලෝකයක සියලුම කාරණා තාක්ෂණය සමග බද්ධ වී සිදු වනවිට එහි ජීවිත් වන මානවයන් ද අධ්‍යාත්මික වශයෙන් පරිහානියට පත්වූවෝ වීම සාමාන්‍ය වූවකි . ඒ අනුව සමාජ මාධ්‍යය තුළින් සමාගත කරවන විවිධ ප්‍රවණතා රැල්ලට අනුකූලව සමාජය ද දෝලනය වන නිසාවෙන් සමාජ සත්වයන්ගේ ආධ්‍යාත්මික සංවර්ධනයට එය සැබවින්ම බලපෑම් සිදුකරනු ලබයි.

කාලය හා අවකාශය මත සියල්ලම තීරණය වන අධිතාක්ෂණික යුගයක සමාජ මාධ්‍යය යනු අත්‍යාවශ්‍ය හා ජනප්‍රිය වූ අංගයකි. සමාජ ආචාරධර්ම , පෞද්ගලික නිදහස හා සංස්කෘතිකමය රාමුව බිඳදමමින් ගෝලීයකරණය වූ නව ලෝකයේ පන්නයට අනුකූලව සමාජ මාධ්‍යය ක්‍රියාත්මක වන නිසාවෙන් එයින් ඇති කරන බලපෑම ද නිතැතින්ම හදුනා ගත හැකි අතර ඊට උචිත පරිදී කටයුතු කිරීමද වැදගත් කාරණයකි. වර්තමානය තුළ නවමාධ්‍යය ඇතුළු සමාජ මාධ්‍යය පරිශිලනය යනු එම රටෙහි සංවර්ධන රුකුලකි . නමුත් එය  සාක්ෂරතාවයෙන් යුතුව භාවිතා කිරීම අත්‍යාවශ්‍ය වේ. එනම් පුද්ගලයන් එය සම්මා සතියෙන් යුතුව පරිහරණය කිරීම ඉතා අගනේය.

Comments

Post a Comment